Home පුවත් Uber Sri Lanka රතුකුරුස සංවිධානය හා එක්වී එන්නත්කරණය වෙනුවෙන් නොමිලේ ගමන් වාර...

Uber Sri Lanka රතුකුරුස සංවිධානය හා එක්වී එන්නත්කරණය වෙනුවෙන් නොමිලේ ගමන් වාර 50,000 ක් ලබාදෙයි

42
0

2021 ජූනි 02, කොළඹ: රටේ සියලුම දෙනාට COVID-19 එන්නත් ලබාදීම සඳහා රජය දරමින් සිටින ප්‍රයත්නයට සහය දැක්වීමක් වශයෙන්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සහ අවදානම් ප්‍රදේශ වල ජනතාව එන්නත් මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හරහා නොමිලේ ගමන් වාර 50,000 ක් ලබාදෙන බව Uber අද දින නිවේදනය කළේය.

දැනට පවතින සංචරණ සීමාවන් ක්‍රියාත්මක වන කාලය තුළ, IDH රෝහල ඇතුළුව විවිධ රෝහල් වෙත ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහාද Uber පිරිනමන මෙම ගාස්තු රහිත ප්‍රවාහන පහසුකම භාවිතා කළ හැකි වේ.

මෙම වැඩපිළිවෙළ, ජනතාවට COVID-19 එන්නත් ලබා ගැනීමට ප්‍රවාහනය බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා සහ, වසංගතය පාලනය කිරීමට බලධාරීන්ට සහය වීම උදෙසා, ගාස්තු රහිත හෝ වට්ටම් සහිත ගමන් වාර මිලියන 10 ක් පිරිනැමීම සඳහා Uber ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාවට නංවා ඇති ප්‍රජා සත්කාරයේ කොටසකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසුවා ය. “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට මෙන්ම, ජීවිත බේරාගැනීමේ මෙහෙවරට උරදී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත යාම සඳහා ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය හරහා නොමිලේ ගමන් වාර 50,000 ක් ලබා දීමට Uber කටයුතු කිරීම අප සැබැවින්ම අගය කරනවා. මෙය සුරක්ෂිත ගමනාගමන පහසුකම් අත්‍යවශ්‍ය අයට එම පහසුකම් සැපයීමට අමතරව, COVID-19 වසංගතයට එරෙහිව අප ගෙනයන සටනට විශාල අත්වැලක්ද වේවි.  රජය හා පෞද්ගලික අංශය අතර ඇතිවන මෙබඳු හවුල්කාරීත්වයන්, සෞඛ්‍ය සේවාවන් සම්බන්ධයෙන් පවතින ඇතැම් බාධාවන් ඉවත් කරමින්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට දායක වෙනවා. මෙම වසංගත රෝග ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේ පටන්ම, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සහ ජනතාවගේ නිවෙස් වල අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනගොස් භාරදීම වැනි ක්‍රම ඔස්සේ, වගකීම්සහගත ආයතනයක් ලෙස Uber කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයයි. ඉදිරියේදීත් රටේ ආර්ථිකය හා ජීවිත යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහයේදී Uber සමග සමීපව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “රටේ එන්නත්කරණ ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා රතු කුරුස සංවිධානයට නොමිලේ ගමන් වාර 50,000 ක් ලබාදීමට Uber කටයුතු කිරීම අපට මහත් සතුටක්. මෙමගින් ජීවිත බේරාගැනීමට සහ අපගේ පුරවැසියන් එන්නත් කිරීමට පැය 24 පුරාම කැපවී කටයුතු කරන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක සේවිකාවන්ට මෙන්ම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට ප්‍රවාහන පහසුකම් හිමිවේවි. මෙම කාලෝචිත පියවර, වසංගත තත්වයේදී අපත්, අපගේ පවුල් සහ හිතමිතුරනුත් ආරක්ෂා කරගැනීමට අපට උපකාරී වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. ඉදිරියේදීත් Uber සමග අත්වැල් බැඳගෙන, වසංගතය නිසා අපට අහිමි වූ දේවල් වඩාත් හොඳින් ප්‍රතිස්ථාපනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

දකුණු ආසියානු කලාපය සඳහා Uber සභාපති ප්‍රබ්ජීත් සිං මහතා මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “ශ්‍රී ලාංකිකයන්ට එන්නත් ලබාදීම සඳහා සහ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමී ලෙස කටයුතු කරමින් සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයීමට රතුකුරුස සංවිධානය සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම වසංගතයෙන් ගැලවීමට හැකිවන්නේ මහා පරිමාණ එන්නත් කිරීම් වැඩසටහන් තුළින් පමණක් බව අප සැබැවින්ම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් බලධාරීන්ට සහයෝගය ලබාදීමට අප සෑම විටම සූදානම්.”

පසුගිය වසරේදී සෞඛ්‍ය සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා හඳුන්වා දුන් UberMedic සේවාවේදී සිදු වූ ආකාරයටම, මෙම නව වැඩසටහන මගින්ද Uber රියදුරන්ට මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මීට පෙර 2021 මාර්තු මාසයේදී, රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට සහය වීම සඳහා, කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් මධ්‍යස්ථාන 13 ක් වෙත ගමන් කරන පුද්ගලයන්ට, ජනප්‍රිය Uber ත්‍රිරෝද රථ සේවාව භාවිතා කිරීමේදී විශේෂ වට්ටම් ලබාදීමටද Uber කටයුතු කළේ ය.

මීට අමතරව, COVID-19 රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගැනීමටද Uber කටයුතු කළේ ය.

Uber පිළිබඳව

Uber සතු දැක්ම වන්නේ සංචලනය ඔස්සේ ප‍්‍රගමනය සාක්ෂාත් කරගැනීමයි. 2010 වසරේදී, මගීන්ට හුදෙක් දුරකථනයක බොත්තමක් ස්පර්ශ කිරීම මගින් ප‍්‍රවාහන මාධ්‍යයක් සොයා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Uber ආරම්භ විය. මේ වනවිට Uber ගමන් වාර බිලියන 10 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති අතර, ප‍්‍රවාහන විසඳුම් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා අතිනවීන විසඳුම් හඳුන්වා දෙමින් සිටී. ජනතාව පමණක් නොව ආහාරපාන හා භාණ්ඩ සම්බන්ධයෙන්ද සුවිශේෂී ප‍්‍රවාහන විසඳුම් සපයන Uber සේවා පදනම ලෝකයට නව අවස්ථා රාශියක් විවර කරදීමට සමත් වී ඇත.

ශ්රී ලංකා රතු කුරුස සංගමය පිළිබඳව

1936 සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය මෙරට විශාලතම මානුෂීය සංවිධානයයි. දිස්ත්‍රික්ක 25 ක් පුරා ව්‍යාප්ත වූ පුළුල් ස්වේච්ඡා සාමාජික ජාලයක් සහිත එම සංවිධානයේ අරමුණ වන්නේ අවදානම් වලට ලක්විය හැකි ප්‍රජාවන් තුළ අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරවීම සහ, ආපදා, හදිසි අවස්ථා සහ සමාජ බහිෂ්කරණයන්ට ලක්වන්නන් උදෙසා  ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here