Home පුවත් COVID-19 සීමා හමුවේ පවා ‘කලා පොළ’ වැඩසටහන කලාකරුවන්ට දිගින් දිගටම ශක්තියක් වෙයි

COVID-19 සීමා හමුවේ පවා ‘කලා පොළ’ වැඩසටහන කලාකරුවන්ට දිගින් දිගටම ශක්තියක් වෙයි

36
0

රටේ සංස්කෘතියට, උරුමයට සහ විවිධත්වයට වටිනාකමක් එක් කරන දක්ෂ කලාකරුවන් බහුලව සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් උසුලයි. එම කලාකරුවන් අතරින් විශාල පිරිසකගේ දායකත්වයෙන් යුතුව පවත්වනු ලබන, දෘශ්‍ය කලාවන් සම්බන්ධ වාර්ෂික වැඩසටහනක් වන ‘කලා පොළ’ වැඩසටහන මේ වනවිට කලාකරුවන් මෙන්ම කලා ලෝලීන් අතරද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව 1993 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහනට, වසර 27 ක කාලයක් පුරා අඛණ්ඩව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වය ලැබී ඇත. ආරම්භයේ පටන් මේ දක්වාම ‘කලා පොළ’ වැඩසටහන ශ්‍රී ලාංකික කලාවන්ට හා කලාකරුවන්ට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා දොරටු විවර කර දෙමින් සිටී.

සාමාන්‍යයෙන් ප්‍රදර්ශන ශාලා අවකාශයෙන් පිටතදී චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට තම නිර්මාණ වලට ප්‍රචාරයක් ලබාගැනීම සඳහා ඇති ඉඩකඩ සීමිත ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට වැඩිදුර හැදෑරීමට, ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සමග සම්බන්ධ වීමට සහ තම නිර්මාණ අලෙවි කරගැනීමට අවස්ථාවක් ලබාදීමට ‘කලා පොළ’ වැඩසටහනේ මූලික අවධානය යොමුවී තිබේ. ජනතාව එක්රැස්වීම් සම්බන්ධයෙන් මේ වනවිට පනවා ඇති සීමාවන් නිසා, 2021 වසරේදී ප්‍රථම වතාවට මෙම වැඩසටහන මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලදි. ඒ අනුව, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ඩිජිටල් කලා ගැලරිය වන www.srilankanartgallery.com ඔස්සේ, 2021 පෙබරවාරි 21 දින සිට මාර්තු 21 දින දක්වා මාසයක කාලයක් කලා පොළ වැඩසටහන පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලාංකික කලාකරුවන් හා කලාකාරියන් 202 දෙනෙකුගේ නිර්මාණ 4,000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරිණි. ලෝකයේ විවිධ රටවල වෙසෙන 56,000 කට අධික පිරිසක් මෙම නිර්මාණ නැරඹීම සඳහා එම වෙබ් අඩවියට පිවිසුණහ. ශ්‍රී ලාංකික හා විදේශීය ගැනුම්කරුවන් විසින් කලා නිර්මාණ 240 කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ මිලදීගන්නා ලද අතර, කලාකරුවන්ට තවත් ඇණවුම් රැසක්ද හිමි විය.  

කලා පොළ වැඩසටහනේ නිල බැංකු සහකරු වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘Private Banking’ සේවාවේ සාමාජිකයන් සඳහා විශේෂ ප්‍රදර්ශන දිනයක් වෙන්කිරීමට, ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය කටයුතු කළහ. ඒ අනුව ප්‍රදර්ශනය මහජනතාවට විවෘත කළ දිනයට පෙර දිනයේ, එනම් 2021 පෙබරවාරි 20 වන දින, ප්‍රදර්ශනය නැරඹීමට  නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘Private Banking’ සාමාජිකයන්ට අවස්ථාව ලැබුණු අතර එය කලාකරුවන්ට තම නිර්මාණ අලෙවි කරගැනීමේ අවස්ථාවන් වැඩි කරන පියවරක් විය.

මෙම මාර්ගගත කලා පොළ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ගාල්ල ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු වන තුෂාන් ඉලේපෙරුමආරච්චි මහතා මෙසේ පැවසී ය. “කලා ප්‍රදර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම ගැන මට මුලින් එතරම් විශ්වාසයක් තිබුණේ නැහැ. එහෙත් මෙම ප්‍රදර්ශනයේදී මට චිත්‍ර 17 ක් පමණ අලෙවි කරගැනීමට පුළුවන් වුණා. අපට හුරුපුරුදු ක්‍රමයට වඩා වෙනස් අත්දැකීමක් වුණත් මේ වැඩසටහන පැහැදිලිවම සාර්ථකයි. දේශීය හා විදේශීය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනය නරඹා තිබුණා. ඒ වගේම ප්‍රදර්ශනය මාසයක් පුරා පැවැත්වුණු නිසා, ගැනුම්කරුවන්ට නිදහසේ නිර්මාණ නරඹා තමන්ට කැමති දේ මිලදී ගැනීමට හැකිවූවා. ඉදිරියේදී සාමාන්‍ය ක්‍රමයට වගේම අන්තර්ජාලය හරහාත් කලා පොළ වැඩසටහන පැවැත්වීමට හැකිවේවි කියා මා සිතනවා.”

ප්‍රධාන වැඩසටහනට අමතරව, කලා නිර්මාණ එකතු කරන්නන්, කලාකරුවන්, දරුවන් සහ පොදුවේ කලා ලෝලීන් සියලුම දෙනා සම්බන්ධ කරගනිමින්, තවත් අතිරේක වැඩසටහන් 4 ක්ද පවත්වන ලදි. මේ අතරට, කලා නිර්මාණ එකතු කිරීම සම්බන්ධ මගපෙන්වීමක් ලබාදෙන වැඩසටනනක්, කලා ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සහ කලාකරුවන්ට අද සමාජය තුළ හිමි ස්ථානය සම්බන්ධයෙන් විශේෂඥයන් හා කලාකරුවන්ගේ දායකත්වයෙන් යුත් සංවාදමය වැඩසටහන් දෙකක් සහ, ‘Cora Abraham Art school’ හි දායකත්වයෙන් දරුවන් වෙනුවෙන් පත්‍ර වර්ණ ගැන්වීම සහ මැටි වැඩ සම්බන්ධ වැඩමුළුවක් ඇතුළත් වූ අතර, මෙම වැඩසටහන් වෙබ් අඩවිය සහ කලා පොළ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.

අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද වැඩසටහෙන් පසුව, කොළඹ 07 Arcade Independence Square හි දී එක්දින විශේෂ අලෙවි වැඩසටහනක්ද ප්‍රථම වරට පවත්වන ලදි. වසර 15 කට වැඩි කාලයක් තිස්සේ කලා පොළ වැඩසටහනට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ 25 දෙනෙක් මීට එක්වූහ. COVID-19  සම්බන්ධ සෞඛ්‍ය හා සුරක්ෂිතතා රෙගුලාසි දැඩිව අනුගමනය කරමින් පැවති මෙම වැඩසටහන නැරඹීමට 978 දෙනෙකු පැමිණි අතර, එහිදී රු. මිලියන 1.46 ක පමණ අලෙවියක් වාර්තා විය. ජෝන් කීල්ස් කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා සේවකයෝ 50 කට අධික පිරිසක් මෙම වැඩසටහන් දෙක සඳහා දායක වූහ.

ජෝර්ජ් කීට් පදනමේ සභාපති මයිකල් ඇන්තනිස් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “ඉතාමත් ඉක්මනින් සහ නිර්මාණශීලී අයුරින් මෙම වසරේ කලා පොළ වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ, පවතින වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ පවා කලාකරුවන්ට තම නිර්මාණ ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අප ස්තූතිවන්ත වනවා. මෙවැනි දුෂ්කර කාලසීමාවක තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව ලැබීම කලාකරුවන්ට විශාල සහනයක් වුණා. මෙම වැඩසටහන් මාලාවෙන් ලැබුණු ප්‍රතිඵල සම්බන්ධයෙන් ජෝර්ජ් කීට්ස් පදනම බෙහෙවින්ම තෘප්තිමත්. කලා පොළ වැඩසටහන සංවිධානය කිරීමට සහ ඒ සඳහා මුදල් සපයා ගැනීමට ජෝන් කීල්ස් සමූහය වෙතින් දිගින් දිගටම ලැබෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා.”

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. “COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බොහෝ කලාකරුවන්ට ගැනුම්කරුවන් හා සම්බන්ධ වීම ඉතාමත් දුෂ්කර වී පවතින තත්ත්වයක් තුළ, ඉදිරියටත් ශ්‍රී ලාංකික කලාකරුවන්ට අත්වැලක් වීමටත්, ඔවුන්ගේ නිර්මාණ ප්‍රචලිත කිරීමටත්, ජෝර්ජ් කීට්ස් පදනම හා එක්ව ජෝන් කීල්ස් සමූහය කැපවී කටයුතු කරනවා. ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද කලා පොළ වැඩසටහනට කලාකරුවන් සහ ගැනුම්කරුවන් වෙතින් ඉහළ ප්‍රතිචාරයක් ලැබීම අපට විශාල සතුටක්. ඉදිරියේදීත් කලා පොළ වැඩසටහනේ අරමුණු මෙන්ම සමස්තයක් ලෙස කලාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අරමුණු සපුරාලන ආකාරයේ වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

කලාව හා සංස්කෘතිය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ 6 අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ. LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 15 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. World Economic Forum හි පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compact හි හවුල්කරුවෙකු වන එම සමාගම ‘අනාගතය වෙනුවෙන් රට සවිබල ගැන්වීම’ යන දැක්ම පෙරදැරිව තම සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන ‘Plasticcycle’ ඔස්සේ ප්ලාස්ටික් නිසා රට තුළ ඇතිවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here